ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි ජනපති හමුවේ - මන්නාරමේ ආයෝජන අවස්ථා ගැනත් සොයයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

තුන් දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ අදානි සමාගමේ සභාපති ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමග පැමිණි කණ්ඩායම අද මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

කොළඹ වරාය බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා එක්ව සිටින අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ෆෝබ්ස් ඉන්දියානු ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ දෙවැන්නායි.

මුකේෂ් අම්බානිට පමණක් දෙවැනි වන ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 75කට ආසන්නයි.

ඊයේ රාත්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් ගෞතම් අදානි ඇතුලු 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණි අතර, ජනාධිපතිවරයා සමඟ අද දිනයේ හමුවක් පැවැත්වීමට ද නියමිත බව හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.

ගෞතම් අදානි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවැත්වීමට නියමිත හමුවේදී මෙරට වරාය, බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇති බව ද හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වුණා.

ඒ අනුව ගෞතම් අදානි අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද  මුණ ගැසී තිබෙනවා.

ඔහු සමග පැමිණි නියෝජිතයින් අතරට ගෞතම් අදානිගේ පුත් සගාර් අදානි, අදානි ට්‍රාන්ස්මිෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අයත්.

ඔවුන් අද මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ සුළං සහ සූර්යබල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක ආයෝජනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමටයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයා ද එක්වුණා. මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං බලාගාරය ඔහු නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කරනු ලබන්නේ ද ඉන්දියාවේ අදානි සමාගමයි.

ඇමරිකානු ඩොලර් මිලියන 700ක ආයෝජනයක් සහිත එම ව්‍යාපෘතිය සඳහා පසුගිය සැප්තැම්බර් 30 වනදා අත්සන් තැබුණු අතර, එහි සියයට 51ක කොටස් හිමිකාරීත්වයක් අදානි සමාගමට හිමි වනවා.

හවුල් ව්‍යාපෘතියක් ලෙස වසර 35 ක කාලයක් ආවරණය වන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකොට, මෙහෙයුම් ක්‍රියාත්මක කර අයිතිය පැවරීම සිදුවනු ඇති.

මේ අතර කොළඹ වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවි කිරීමේ උත්සවය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive