ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණීම සැළකිය යුතු මට්ටමක (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) යළි ආරම්භ කළ සියලු පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව බොහෝ පාසල්වල ප්‍රාථමික අංශයේ සමස්ත සිසුන්ගෙන් සියයට 60 හෝ ඊට ඉක්ම වූ ප්‍රතිශතයක් පාසල් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද සඳහන් කළේ සිසුන් සහ ළමයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් වෙත පැමිණි අයුරු නිරීක්ෂණය කළ බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම අල් හික්මා විද්‍යාලයේ ළමුන් පාසල් පැමිණිය ද එහි ගුරුවරුන් විසින් ඔවුන් යළි නිවෙස් වෙත හරවා යවා තිබෙනවා.

පාසල් ආරම්භ කිරීමට සුදුසු පරිදි පවිත්‍රා කටයුතු සිදු නොකර තිබීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු පාසල්වල සිසුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බව හිරු අනුරාධපුර වාර්තාකරු තම්සීර් හමීඩ් කියා සිටියා.

මේ අතර උතුරේ පාසල්වල ප්‍රාථමික අංශ ද අද නියමිත පරිදි ආරම්භ වුණා.

අප වාර්තාකරු මාධව කුලසූරිය කියා සිටියේ ඇතැම් පාසල් දරුවන් සැහැල්ලු ඇදුම්වලින් සැරසී පැමිණෙන අයුරු නිරීක්ෂණය කළ බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ප්‍රකාශ කළේ නිල ඇඳුම නොමැති නම් වෙනත් සුදුසු ඇඳුමකින් පාසලට පැමිණිය හැකි බවයි.

කොළඹ පාසල්වල ප්‍රාථමික අංශ ද අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අද ඉහල මට්ටමක පැවති බවයි.  

කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් බැහැරව ස්වෙච්ඡාවෙන් සිදු කරන කිසිදු කටයුත්තකට ගුරුවරුන් සහය ලබා නොදෙන බවයි.

එමෙන්ම අද පස්වරුවේ පාසල් අසල විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive