බස්නාහිර පිරිසකට, ගාල්ලේ දී එන්නත් දුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල බැංකු ගිණුම් පිරික්සයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

උණවටුන ප්‍රදේශයට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එන්නත්කරණය සිදුකළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ වන විට පියවරගෙන තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය පිළිබද විමර්ශන සිදුකරන පොලීසිය, එන්නත් ලබා ගැනීම සඳහා උණවටුන ප්‍රදේශයේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණි වාහන 54ක් සම්බන්ධයෙන් දැනටමත් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ, සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගනිමින්.

එලෙස හදුනා ගත් වාහන හිමිකරුවන්ගෙන් සහ ඒවායේ පැමිණි පුද්ගලයන් 4 දෙනෙකුගෙන් අද පස්වරුව වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ අධිකරණයෙන් ලබාදුන් අවසරය මත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ, එන්නත්කරණයේදී මුදල් ලබාගෙන ඇද්ද යන්න තහවුරු කර ගැනීම සදහායි.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ළමයින්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර තිබෙනවා.

එම සිරුරු භූමදානයට අවසර ලබාදී ඇති ඔට්ටමාවඩි ප්‍රදේශයේ මෙම දේහයන් භූමදානය කර ඇති අතර, මුස්ලිම් ජාතිකයන් 572 නෙකු, හින්දු පුද්ගලයින් 14 දෙනෙකු, ක්‍රිස්තියානි 12 දෙනෙකු සහ බෞද්ධ 7 දෙනෙකු ඒ අතර වනවා.

මේ අතර, ඉදිරි සති දෙක තුළ කොරෝනා මරණවල අඩුවීමක් අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ප්‍රකාශ කළා.

මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස්ගේ මව, පසුගිය 13 වනදා කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර, ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සියලුදෙනාගෙන් ඉල්ලා තිබුණේ ඔබගේ ආදරණීයයන්ට මෙම මාරාන්තික රෝගයට නිරාවරණය වීමට ඉඩ නොදෙන ලෙසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද විරෝධතාවක නිරතවුණා.

ඒ, ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිවයි.

කුරුණෑගල පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට අතුරු මාර්ගයක 40 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම විරෝධතාව පැවති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 92,478 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද දිනයේ සුවය ලැබූ 2,014 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමඟයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive