හැකිතාක් සිය නිවසටම වී සිටින්නැයි ඉල්ලීමක්

Base.lk 6:49 AM Technology

හැකිතාක් සිය නිවසටම වී සිටින ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 50,493 දෙනෙකුට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඒ අනුව මෙතෙක් එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,203 ක් බවයි ඔහු කියා සිටියේ.

එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 11,338 කට ලබාදී ඇති අතර, ඊයේ දිනයේ පමණක් එම එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 5,460 ක්.

ඒ අනුව මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් වර්ග තුනෙන්ම පළමු මාත්‍රාව ලබාදුන් සමස්ත පුද්ගලයින් ගණන මේ වනවිට මිලියනය ඉක්මවා තිබෙනවා.

ඉදිරි සති දෙක ඇතුළත ස්පුට්නික් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 06 ක් දිවයිනට රැගෙන එන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියා.

ගාල්ල මහ නගර සභා සීමාව තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අත්විඳීමට සිදුව ඇති රාජකාරීමය හා පරිපාලනමය ගැටළුවලට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා මර්දන රාජකාරී කටයුතු ඇතුළුව සියලුම රාජකාරීවලින් අද දිනයේදී ඉවත්ව සංකේත වර්ජනයක නිරත වනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ විදේශ රටවල සිට දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීමට අදාළව නව නිරෝධායන රෙගුලාසි මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා එන්නත් ලබා ගැනීම සැලකිල්ලට නොගෙන විදේශ රටක සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, අනෙකුත් විදේශිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල ඇතුළු සියලු දෙනා යළිත් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් වනවා.

විදේශීය තානාපති සේවයේ නිරත මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් සහ ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද නැවත දිවයිනට පැමිණීමේදී මෙලෙස දින 14 ක නිරෝධායනයට ලක්විය යුතුයි.

මෙය ජෛව බුබුළක් ලෙසින් ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දින 14 ක නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඉන් මුදා හැරීමට පෙර සියල්ලන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

ඔවුන් ගුවන් තොටුපලින් දිවයිනට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු මෙන්ම නිරෝධායන කාලසීමාව අවසානයේ යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

අදාළ නිරෝධායන රෙගුලාසි මැයි මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

මේ අතර, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 2,568 දෙනා සමඟින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 31,098 ක් දක්වා ඉහළ ගියා.

ගතවූ දිනයේ ආසාදිතයින්ගෙන් 2530 දෙනෙක් වාර්තා වුණේ අලු‍ත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වන අතර, සෙසු 38 දෙනා විදේශගතව සිටි මෙරටට පැමිණි පුද්ගලයින්.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 606 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 40 ක්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 417 ක් වාර්තා වී තිබූ අතර, ඊට පානදුර දකුණ ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් එකසිය දෙදෙනාද වනවා. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 300 ක් ඊයේ හඳුනාගත් අතර, කටුනායකින් හඳුනාගත් ආසාදිතයින් හැට දෙදෙනෙකුද ඒ අතර වුණා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 1,323 ක්.

මීට අමතරව කුරුණෑගල, ගාල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් වාර්තා වීම පෙර දින කිහිපයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive