අඛණ්ඩ තුන්වන දිනටත් ආසාදිතයින් 2500 පනී

Base.lk 6:49 AM Technology

නව කොරෝනා අසාදිතයින් 2,568 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 29,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව 2500 ඉක්ම වූ ආසාදිතයින් මෙරටින් වාර්තා වූ අඛණ්ඩ 03 වන දිනය ඊයේ දිනයයි.

එසේම, තවත් කොරෝනා මරණ 23 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ ගියා.

ඊයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 2568 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්ලක්ෂ 31,098 ක් ලෙසයි.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2,530 දෙනෙකු අලුත් අවුරුදු පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර, අනෙකුත් ආසාදිතයින් 38 දෙනා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වන පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා ආසාදිතයින් 23,607 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,030 ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 6,641 ක් වනවා.

මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 23 අතරින් 16 දෙනෙකුම කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්මලාන, පොලොන්නරුව, පිලිමතලාව, පතන, තලවකැලේ, හල්ග්‍රන්ඔය, මාතලේ, ඇල්කඩුව, මඩුල්කැලේ, මැණික්හින්න, මාතර, තල්ගස්වල, පොලොන්නරුව, මොරොන්තුඩුව, මහරගම, හල්තොට, වස්කඩුව, කැලණිය, මොරටුව සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔවුන් වයස අවුරුදු 46ත්, 85ත් අතර වයස්වල පසුවන්නන්.

මේ අතර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා.

පසුගියදා මුතූර් ප්‍රදේශයේ ඇය සහභාගි වූ උත්සවයකට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පවතින කොරෝනා වසංගතය හමුවේ ලීසිං හා බැංකු ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ අතර, අමතර ඔක්සිජන් සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොගයක් වශයෙන් පවත්වා ගන්නා ලෙස ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ලිට්රෝ ගෑස් සමාගම වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සිංගප්පූරුවෙන් පළමු ඔක්සිජන් සිලින්ඩර තොගය නුදුරු දිනකදී ලැබීමට නියමිතයි.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමටද චීන රජයේ අවධානය යොමුවී තිබෙනවා.

දැනට දිවයින තුල ඔක්සිජන් සමාගම් අවශ්‍ය තරම් ඔක්සිජන් නිපදවන අතර ඇතැම් රෝහල්වල ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර මෙන්ම කුඩා ඔක්සිජන් සාන්ද්‍රණාගාරද පවතිනවා.

කෙසේ වෙතත්, විවිධ ප්‍රමාණයෙන් වූ ඔක්සිජන් සිලින්ඩර රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩි කිරීම යෝග්‍ය බැවින් මෙම පියවර ගත යුතු බවයි කාර්ය සාධන බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ලීටර 4 කුඩා සිලින්ඩර 2,000ක්, ලීටර 12 විශාල සිලින්ඩර 10,000ක් සහ ලීටර 47 සිලින්ඩර 9,000ක් ආනයනයට පියවර ගැනෙනු ඇති.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive